දෙණියායේ උණ බස්සන්න විශේෂ සාකච්ඡාවක්

දෙනියාය ප්රදේශයේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝග තත්ත්වය තවදුරටත් ව්යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු කඩිනම් සහ දිගුකාලීන ක්රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් සහ ලාල් ප්රේමනාත් මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් අද (11) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ දෙනියාය අධ්යාපන කලාපයේ පාසල් කිහිපයකින්ම උණ රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වීමත් සමඟ රෝගය තවදුරටත් ව්යාප්ත වීම පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම පිළිබඳවයි. දරුවන්ගේ සෞඛ්යාරක්ෂාවට ප්රමුඛතාව ලබා දෙමින් සෞඛ්ය හා අධ්යාපන අංශ ඒකාබද්ධව ක්රියාත්මක විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
රෝග ව්යාප්තිය අවම කිරීම සඳහා පාසල් දරුවන්, දෙමාපියන් සහ ප්රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්රාමීය මට්ටමින් ක්රියාත්මක කිරීම, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්ර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ උණ රෝග ලක්ෂණ සහිත දරුවන් හඳුනාගෙන කඩිනමින් වෛද්ය ප්රතිකාර සඳහා යොමු කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම දෙනියාය කලාපයේ සියලු පාසල් පරිශ්ර, පන්ති කාමර, වැසිකිළි පද්ධති, ජල ටැංකි සහ පාසල් පරිසරය විධිමත් ලෙස පිරිසිදු කිරීම සඳහා විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමටද අවධානය යොමු කෙරිණි. පාසල් ප්රජාව, දෙමාපියන් සහ ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ශ්රමදාන වැඩසටහන් සංවිධානය කර පරිසර පිරිසිදුකම සහ සනීපාරක්ෂාව ඉහළ නැංවීමටද තීරණය කෙරිණි.
තවද, දෙනියාය ප්රදේශයේ ක්රියාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන සහ පෙර පාසල් තුළද මෙම රෝග තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. කුඩා දරුවන්ගේ සෞඛ්ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර පාසල් පරිශ්ර පිරිසිදු කිරීම, දෛනික සනීපාරක්ෂක ක්රියාමාර්ග දැඩිව අනුගමනය කිරීම, දරුවන්ගේ සෞඛ්ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්රියාත්මක කිරීමටද යෝජනා විය.
මෙම වැඩසටහන් සාර්ථකව ක්රියාත්මක කිරීම සඳහා ප්රාදේශීය සභා සහ ප්රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ලබා ගැනීමේ අවශ්යතාවයද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. පාසල් හා පෙර පාසල් පරිශ්ර පිරිසිදු කිරීම, අපද්රව්ය කළමනාකරණය, ජල පහසුකම් නඩත්තු කිරීම, ශ්රමදාන වැඩසටහන් සංවිධානය කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් විධිමත් ලෙස ක්රියාත්මක කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතන සහ ප්රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.
සෞඛ්ය අංශ විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවල දරුවන්ට නිවෙස්වලින් උතුරවා නිවාගත් ජලය රැගෙන ඒම, අත් සෝදා ගැනීමේ පුරුදු වර්ධනය කිරීම, මුඛ ආවරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම, උණ හෝ සෙම්ප්රතිශ්යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් අදාළ ආයතන වෙත නොඑවීම සහ ආපන ශාලා හා ආහාර සකස් කරන ස්ථානවල සනීපාරක්ෂාව දැඩිව පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.
තවද පාසල් වල හා මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන තුළ දිනපතා සෞඛ්ය නිරීක්ෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීම, රෝග ලක්ෂණ සහිත දරුවන් පිළිබඳ වහාම සෞඛ්ය අංශ දැනුවත් කිරීම සහ අවශ්ය වුවහොත් විශේෂ ආරක්ෂිත ක්රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සුසිරිපාල මානවඩු මැතිතුමන් සඳහන් කළේ, දරුවන්ගේ සෞඛ්ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අඩුවක් නොතබා කටයුතු කළ යුතු බවත්, සෞඛ්ය අංශ ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්රියාත්මක කිරීම තුළින් රෝග ව්යාප්තිය ඉතා කඩිනමින් පාලනය කළ හැකි බවත්ය. එසේම සෑම පාසලක් හා මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානයක්ම දරුවන්ට ආරක්ෂිත සහ සෞඛ්ය සම්පන්න පරිසරයක් බවට පත් කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්යරත්න, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත්, දකුණු පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නිෂාන් කේ.ආර්. පතිරණ, දකුණු පළාත් අධ්යාපන අධ්යක්ෂක චන්න උපාලි වීරසේකර යන මහත්වරුන් සහ දකුණු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂකතුමන් ඇතුළු සෞඛ්ය අංශයේ වෛද්යවරුන්, වගකිව යුතු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
Share This