අමෙරිකා – චීන Rare Earths ගිවිසුම තවදුරටත්

අමෙරිකාව සහ චීනය අතර ඇති කරගෙන තිබෙන දුර්ලභ ඛනිජ (Rare Earths) ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. එම ගිවිසුමේ දිගුවක් පිළිබඳ නිවේදනයක් සුදුසු අවස්ථාවකදී ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කර ඇත.

අමෙරිකානු ජනාධිපති Donald Trump සහ චීන ජනාධිපති Xi Jinping මැයි 14 සහ 15 දිනවල බීජිං නුවරදී හමුවීමට නියමිත අතර, එහිදී වෙළෙඳ ගැටලු, ඉරානයේ තත්ත්වය, තායිවානය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේ පැවති හමුවකදී දෙරට අතර දැඩි වෙළෙඳ යුද්ධය තාවකාලිකව නවතා දැමීමට එකඟතාවකට පැමිණ තිබුණි. එහිදී චීනය ලෝකයට සැපයෙන දුර්ලභ ඛනිජ අපනයනය සීමා කිරීම තාවකාලිකව නවතා දැමීමටත්, අමෙරිකාව චීන භාණ්ඩවලට පැනවූ ඉහළ බදු අඩු කිරීමටත් එකඟ වී තිබුණි.

මෙම දුර්ලභ ඛනිජ විදුලි වාහන, අති නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ, සුළං බලශක්ති පද්ධති සහ යුධ උපකරණ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන අතර, චීනය ලෝකයේ ප්‍රධානම සැපයුම්කරුවා ලෙස සැලකේ.

Share This