අපේ මුහුදු කකුළුවන්ට අමෙරිකාවෙන් වීසා දෙයි

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට මුහුදු කකුළුවන් අපනයනය කිරීම සඳහා තිබූ බාධා මේ වනවිට ඉවත් වී තිබෙනවා.

ඒ, ඇමරිකාවේ “Marine Mammal Protection Act” (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟයි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ, ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවට අයත් NOAA ආයතනය ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රමවේද සහ නීතිරීති ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බව නිල වශයෙන් පිළිගෙන ඇති බවයි.

2025 නොවැම්බර් මාසයේදී ඇමරිකානු අධිකරණ තීන්දුවක් හේතුවෙන් මෙම අපනයන කටයුතුවලට යම් බාධාවක් එල්ල වී තිබුණා. නමුත් ධීවර දෙපාර්තමේන්තුව, NARA ආයතනය සහ අදාළ අංශ ලබාදුන් විද්‍යාත්මක තොරතුරු සලකා බැලීමෙන් පසු NOAA ආයතනය යළි තීරණය සමාලෝචනය කර මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම අනුමැතියත් සමඟ 2029 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකාවට කිසිදු බාධාවකින් තොරව ඇමරිකාව වෙත මුහුදු කකුළුවන් අපනයනය කළ හැකි වෙනවා.

එමෙන්ම, මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන ආකාරයට ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙය මෙරට ධීවර ජනතාවගේ ආදායම වැඩි කිරීමටත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් විශාල සහයක් වනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

Share This