වසර 24කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය වෙයි

සංශෝධනය වන ජාතික පාරිසරික පනත පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

එම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, අමාත්‍යාංශ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

වසර 20කට අධික කාලයක් යාවත්කාලීන නොවූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත නව සංශෝධන රැසක් සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණා.

පරිසරවේදීන් සහ විද්වත් කණ්ඩායම්වල දායකත්වයෙන් සකස් කළ මෙම සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

පරිසරය සහ අනාගත පරපුර ආරක්ෂා කිරීම අරමුණු කරගෙන මෙම නව නීති පද්ධතිය හඳුන්වා දී ඇති බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

මෙම පනත යටතේ පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල වගකීම් නීත්‍යානුකූලව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම නීති කඩ කරන ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ලබාදී ඇති අතර, අධිකරණ නියෝග කඩ කරන ආයතන සඳහා ඉහළ දඩ මුදල් පැනවීමටද හැකියාව ලැබෙනවා.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම, කාර්මික අනතුරු වැළැක්වීමට අපොහොසත් වීම වැනි කරුණු හේතුවෙන් බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමටද නව ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහාද නව නීති හඳුන්වා දී ඇති අතර, පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවල අසත්‍ය තොරතුරු ලබාදීම ද දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම “නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම” (EPR) යන නව සංකල්පයද මෙරට නීතියට එක් කර ඇති අතර, භාණ්ඩයක ජීවන චක්‍රය සම්බන්ධ වගකීම නිෂ්පාදකයා වෙත පැවරෙනවා.

තෙත්බිම් සංරක්ෂණය සඳහාද විශේෂ නීති හඳුන්වා දී ඇති අතර, මෙම සංශෝධන හරහා පරිසර පද්ධතිය ආරක්ෂා කර තිරසර සංවර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණ බවද මෙහිදී සඳහන් කෙරුණා.

Share This