“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට
“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක මුදලින් මේ වනවිටත් රුපියල් මිලියන 23,000කට අදාළ සංවර්ධන ව්‍යාපෘති අනුමත කර දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ක්‍රියාත්මක කිරීම සඳහා යොමු කර තිබෙනවා.
මෙම මුදල් ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් යෝජනා කළ ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බව සඳහන්.
“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වී තිබුණා. එම සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ග්‍රාමීය දිළිඳුකම අවම කිරීම සහ ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් මේ වනවිට පිහිටුවා අවසන් බවද නිලධාරීන් සඳහන් කළා.
“ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ඒකක සඳහා තොරතුරු තාක්ෂණ පහසුකම් ලබාදීම සහ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
