වත්මන් රජය හිට්ලර් පාලනයට සමානයි ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්ව ඒකාධිපති ක්‍රමයට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අඩාල වෙමින් පවතින බවත්, එය ඉතිහාසයේ හිට්ලර්ගේ පාලන රටාවට සමාන තත්ත්වයකට පත්ව ඇති බවත්ය.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී “ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තාරුණ්‍යයේ හඬ” නමින් තරුණ ගැටලු සම්බන්ධයෙන් ආරම්භ කළ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී ඔහු අවධාරණය කළේ, රටේ රාජ්‍ය පාලනය ඉතාම අකාර්යක්ෂමව සහ පැහැදිලි සැලසුමකින් තොරව ක්‍රියාත්මක වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව මිලියන 22ක්ම වින්දිතයන් බවට පත්ව ඇති බවත්ය.

විශේෂයෙන්ම මෑතකදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධ සිද්ධිය ඔහු දැඩි ලෙස විවේචනය කළේය. ජනතා බදු මුදල් භාවිතයෙන් සිදුවූ එම මුදල් අතුරුදන්වීම වංචාසහගත සිදුවීමක් ලෙස ඔහු සඳහන් කළ අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියද රජය එයට අවසර නොදීම බරපතළ ගැටලුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ක්‍රියාත්මක වන රටක, මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් සිදුවීම් පාර්ලිමේන්තුව තුළ විවෘතව සාකච්ඡා වීම සාමාන්‍ය ක්‍රමවේදයක් බවද ඔහු සඳහන් කළේය. නමුත් අද තත්ත්වය අනුව එවැනි විවාද පවා වැළැක්වීමක් සිදුවන බවට ඔහු චෝදනා කළේය.

මේ සියල්ල එක්ක බලද්දී, ඔහුගේ අදහස වන්නේ ඩොලර් ලක්ෂ 25 අතුරුදන්වීම වැනි කරුණක් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමටවත් ඉඩ නොදීම රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්ව ඒකාධිපති පාලන රටාවකට යමින් පවතින ලකුණක් බවයි.

Share This