මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසමට

2013දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා දී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අද (12) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සිද්ධියට අදාළ නඩුව පසුගිය 05දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව අධිකරණයට දැනුම්දී තිබුණා.
නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි යන අයයි.
අල්ලස් කොමිසම අධිකරණයට කියා තිබුණේ, එයාර්බස් ගනුදෙනුවෙන් ලැබුණු බව කියන අල්ලස් මුදල් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇත්ද යන්න පිළිබඳවද විමර්ශන සිදුකරන බවයි.
ඒ අනුව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේගෙන්ද ඊයේ (11) පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කාර්යාලයේ කටයුතු ශමීන්ද්‍ර රාජපක්ෂගේ මූලිකත්වයෙන් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම කාර්යාලයේ මෙහෙයුම් කටයුතු විලී ගමගේගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බවත් සඳහන් වුණා.
තවද “සදිසි මීඩියා ක්‍රියේෂන්” නම් ආයතනයක ගිණුමක් වෙත මෙම මුදල් බැර වී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සිංගප්පූරුවේ “බිස් සොලූෂන්” නම් ආයතනයක් හරහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මගින් ශ්‍රී ලංකාවේ “ඇගෝ” නම් ආයතනයකට මුදල් යවා ඇති බවයි.
පසුව එම මුදල් නේෂන් ට්‍රස්ට් බැංකු චෙක්පත් මගින් “සදිසි මීඩියා ක්‍රියේෂන්” ආයතනයේ හවුල්කාරයෙකු වන සමන් සම්පත් වෙත යොමු කර ඇති බවත්, එම මුදල් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
එහිදී එක් අවස්ථාවකදී රුපියල් මිලියන 9ක චෙක්පතක් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
