පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව, වෙඩික්කරු පැමිණි යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ “කරන්දෙණිය සුද්දා” නමැති අපරාධකරුගේ සහෝදරයා වන එස්.එෆ්. රාජුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මතයි. ඔහු මේ වනවිටත් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කරන්දෙණිය සුද්දාට සම්බන්ධ ඝාතන කිහිපයක් ගැන තොරතුරු අදාළ පොලිස් නිලධාරියා සතුව තිබූ නිසා ඔහුව ඝාතනය කළ බවයි.
වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු ප්‍රහාරයෙන් පසුව කරන්දෙණිය සුද්දා විසින් ඩුබායි වෙත යවා ඇති බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා.
ඒ වගේම, දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමක් තිබූ එම වෙඩික්කරුට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බව සැකකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත්, එම තොරතුරු සත්‍යද යන්න ගැන තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.
මේ අතර, රාජුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කරන්දෙණිය සුද්දාට අයත් බව කියන ටී-56 ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
ඒ සමඟ කරන්දෙණිය සුද්දා සතුව තිබූ බව කියන ටී-56 ගිනි අවි 8න් 6ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණයෙන් සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කුගේ මෙහෙයවීමෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනවා.
