මහරගම නිවසක ගින්නෙන් මව සහ දියණිය මරුට ගිනි තැබූ පුද්ගලයාත් මියයයි
මහරගම ප්රදේශයෙන් වාර්තා වූ හදවත කම්පා කරන සිද්ධියකදී, දෙමහල් නිවසකට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, මියගිය මව 55 හැවිරිදි වියේ පසුවූ අතර දියණිය 16 හැවිරිදි වියේ පසුවූ බවයි. ඔවුන් දෙදෙනා එම නිවසේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවද අනාවරණය වී ඇත.
මෙම ගිනි තැබීම නිවසේ හිමිකරු විසින් සිදුකර ඇති බවට සැක කෙරෙන අතර, කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙයට හේතු වී ඇති බව වාර්තා වේ. ගින්න හටගත් අවස්ථාවේ මව සහ දියණිය ඉහළ මාලයේ සිටි අතර, දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔවුන් මියගොස් ඇතැයි ශ්රී ලංකා පොලීසිය සඳහන් කළේය.
තවද, ගිනි තැබීම සිදුකළ බවට සැක කෙරෙන 76 හැවිරිදි නිවසේ හිමිකරුද බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම, මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ 46 හැවිරිදි පියා මේ වන විට රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
