දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට ඉදිරි සති දෙකේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) දින සිට ඉදිරි සති දෙකක කාලය තුළ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසවා. එම තත්ත්වය නිසා පවතින වියළි කාලගුණ තත්ත්වයට කෙටි විසඳුමක් ලැබෙනු ඇතැයි ඔහු කියා සිටිනවා. ඒ අනුව අද දින සිට දිවයිනේ තැනින් තැන මි.මී 50-75 පමණ වැසි බලාපොරොත්තු විය හැකි බවද සඳහන් කළ මෙරිල් මෙන්ඩිස් මහතා දහවල් කාලයේ පවතින උණුසුම තවදුරටත් පවතිනු ඇති බවද වැඩි දුරටත් සදහන් කරනවා. මෙම වැසි තත්ත්වය ජලාශ පිරී යෑමට තරම් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළ අධ්යක්ෂවරයා මෙම වැසි ඇතිවී තිබෙන ජල හිඟයට ස්ථිර විසඳමක් නොවන බවද ඔහු කියා සිටිනවා. ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙම මැයි මාසෙන් පසුව එල්නිනෝ බලපෑමක් අපේක්ෂා කළ හැකි බවයි. කෙසේ වෙතත් ලබන මාසයේදී ආරම්භ වන නිරිතදිග මෝසමට ආරම්භයේදී එල්නිනෝ තත්ත්වයෙන් දැනට බලපෑමක් නොමැති බවද මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරනවා. එහෙත් අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය නොවුණොත් එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වර්ෂාපතනයේ අඩු වීමක් සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
