ඩොලර් මිලියන 2.5ක හැකර් සිද්ධියට? වැඩ තහනම් වූ නිලධාරියෙක් සියදිවි හානිකර ගනී

මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් පසුගියදා වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙකු වන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන තිබේ.
ඔහුගේ මරණය කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ආසන්න ඉඩමකදී සිදුව ඇති බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අදාළ ඩොලර් මිලියන 2.5ක මුදල් හැකර්වරුන් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු නිලධාරීන් සිව් දෙනාගේ සේවය මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවා තිබුණි.
එමෙන්ම, මෙම සිද්ධිය පිළිබඳ ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථා දෙකේදීම පෙනී නොසිටි බවද වාර්තා වේ.
රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකුද වේ.
