අගමැතිනිගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස වංචනික ලෙස පෙනී සිටමින්, බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙස ද තමන් පෙනී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. එමෙන්ම, ඉකුත් නිදහස් දින උළෙලේදී ගුවන් පැරෂුට් පිම්මක් පැන ඇති බව පවසමින් විදුහල්පතිවරයාගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කර ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු ගුවන් හමුදා නිලධාරීන් සහ අගමැතිනිගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින කාන්තාවකගේ ව්‍යාජ ඡායාරූප AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කර විදුහල්පතිවරයාට පෙන්වා ඇති බවයි.
තවද, නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස පහක් තම බිරියට ලබාදී ඇති බව පවසමින්, ඒවායින් නිවාස දෙකක් විදුහල්පතිවරයාට ලබාදෙන බවට පොරොන්දු වී අයදුම්පත් ද ලබා දී ඇති බවද හෙළිවී තිබේ.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැකයක් ඇතිවීමත් සමඟ විදුහල්පතිවරයා විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලිපියක් යොමු කර තිබේ. එය සොයා බැලීමෙන් අනතුරුව එවැනි පෞද්ගලික ලේකම්වරියක් නොමැති බව තහවුරු කර ඇති අතර, ඒ අනුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පොලිසිය අනාවරණය කරන්නේ, මෙම සැකකරු මීට පෙරද කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වසර පහක සිරදඬුවම් ලබා සිටි පුද්ගලයෙකු වන අතර, ඔහුට තවත් නඩු කිහිපයක්ද පවතින බවයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
