පාකිස්තානයේ ඉල්ලීමකට ට්‍රම්ප් ඉරානය සමඟ සටන් විරාමය දික් කරයි

ඉරානය සමඟ පැවති සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ පෙර ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාම කාලය අවසන් වීමට පැය කිහිපයකට පෙරය.

මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම ගැටුමෙන් දහස් ගණනකගේ ජීවිත හානි වී ඇති අතර, ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම පසුබිම තුළ යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තීරණයේ මූලික අරමුණ ලෙස සැලකේ.

මුලින් සටන් විරාමය අවසන් වීමෙන් අනතුරුව ප්‍රහාර ආරම්භ කරන බවට අනතුරු අඟවා තිබූ ට්‍රම්ප් ජනාධිපතිවරයා, පසුව එම ස්ථාවරයෙන් බැහැර වී ඇති බවද වාර්තා වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, ඉරාන නායකයින් විසින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක්, ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නවතා දැමීමට තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

Share This