අමෙරිකානු ගුවන් හමුදා තවත් KC-135 Stratotanker යානයක් අතුරුදන්

පර්සියානු බොක්ක මුහුදු කලාපයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ගුවන් යානයක් හදිසි අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කිරීමෙන් පසු රේඩාර් පද්ධතිවලින් අතුරුදන් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

වාර්තා අනුව, මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකින් ගුවන්ගත කර තිබෙනවා.

ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවල සඳහන් වන්නේ, යානය අතුරුදන් වීමට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදු කලාපයේ පියාසර කරමින් සිට ඇති බවයි.

එහිදී ගුවන් යානය විසින් “7700” හදිසි තත්ත්ව කේතය නිකුත් කර තිබෙනවා. එය ගුවන් යානයකට බරපතළ හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවල භාවිත කරන ජාත්‍යන්තර හදිසි සංඥාවක් ලෙස සැලකෙනවා.

ඒ සංඥාව නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව යානය රේඩාර් පද්ධතිවලින් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම සිදුවීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වෙනවා.

මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින උණුසුම් දේශපාලනික සහ යුදමය වාතාවරණය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිදුවූ මෙම අතුරුදන් වීම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Share This