අඩුපීඩන තත්වය දිවයින දෙසට පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන් පවතින අඩුපීඩන කලාපයේ බලපෑම තවදුරටත් දිවයිනට බලපාමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් දිගටම පවතිනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ලැබිය හැකි බව අනතුරු අඟවා තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි නිසා, ඒවායෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මේ පද්ධතියේ බලපෑම නිසා ඉදිරි දිනවලදී මුහුදු ප්‍රදේශවල සුළං වේගයත් වැඩිවිය හැකි බව සඳහන්.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළං බස්නාහිර දිශාවෙන් හෝ වෙනස්වන දිශාවලින් පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර වේගයකින් හමා යනු ඇත.

විශේෂයෙන් ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බවත් සඳහන්.

ඒ නිසා ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ඉදිරි නිවේදන සහ අනාවැකි ගැන සැලකිලිමත්ව සිටින ලෙස ද ඉල්ලීමක් කර තිබෙනවා.

 

Share This