ජිප්සම් ප්ලාස්ටර් ගෙන්වන විදියට වියලි ඉඟුරු,කහ කුඩු,කැබලි කහ මහා පරිමාණයෙන් ගෙන්නලා රේගුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගු නිවාරන අංශය විසින් සිදුකළ සාර්ථක මෙහෙයුමක් හරහා විශාල ප්‍රමාණයක නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවුණා.

ඉන්දියාවෙන් ආනයනය කළ ජිප්සම් ප්ලාස්ටර් ලෙස ප්‍රකාශ කරමින් මෙරටට ගෙන ආ බඩු තොගයක් පිළිබඳව, රේගු නිලධාරීන්ට මුලින්ම සැකයක් ඇතිවුණේ ස්කෑන් පරීක්ෂාවන් අතරතුරදීයි. සාමාන්‍යයෙන් පෙනෙන පරිදි නොව, අසමාන්‍ය ආකාරයේ ඝනත්ව වෙනස්කම් සහ ආකෘති හඳුනාගැනීමත් සමඟ, එම බඩු තොගය තවදුරටත් විමර්ශනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම කොන්ටේනරය RCT රේගු පරීක්ෂණ අංගනය වෙත රැගෙන ගොස් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එහිදී හෙළිවුණේ, ජිප්සම් ප්ලාස්ටර් අතර සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි ඉගුරු, කහ කුඩු සහ කහ කැබලි විශාල ප්‍රමාණයක් බවයි.

මෙම සොයාගැනීම අනුව, වියලි ඉගුරු කිලෝග්‍රෑම් 3100ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 360ක් සහ කහ කැබලි කිලෝග්‍රෑම් 240ක් වශයෙන් සමස්තයෙන් විශාල වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි ආකාරයෙන් නීතිවිරෝධීව භාණ්ඩ රැගෙන ඒම, රටේ ආර්ථිකයට හා දේශීය ව්‍යාපාරවලට හානි කරන ක්‍රියාවක් වන අතර, එය වැළැක්වීම සඳහා රේගු නිලධාරීන් නිරන්තරයෙන් මෙවැනි සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වනවිටත් ක්‍රියාත්මක අතර, සම්බන්ධිත පුද්ගලයන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කර තිබෙනවා.

 

Share This