හෝර්ටන්තැන්නේ නෙළුව මල් බලන්න මහා සෙනගක් යළි මල් හටගන්නේ 2037

හෝර්ටන්තැන්නේ නෙළුව මල් බලන්න මහා සෙනගක් යළි මල් හටගන්නේ 2037

(හැටන් රංජිත් රාජපක්ෂ)
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන් තැන්නට විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පැවසීය.
නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7-12ත් අතර කාලයකදී වර්ධනය වී මල් හට ගන්නා අතර, නෙළුව ශාකය විනාශ වී යන බැවින් මව් මරා උපන් මල ලෙසද බොහෝ පරිසර වේදින් නිරූපණය කරයි.
ශ්‍රී ලංකාව තුල නෙළුව විශේෂ 35ක් පමණ වාර්තා වන බවත්, ඉන් නෙළුව ශාක 30ක් පමණ මෙරටට ආවේණිව ඒවා බවත්, හෝර්ටන්තැන්න, පට්ටිපොළ, ඔහිය, කිරිගත්පොත්ත, තොටුපොළකන්ද ආදී ප්‍රදේශවල බහුලව මේ දිනවල නෙළුව ශාකයේ මල් පීපි ඇති බව එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.
මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ කලාප කිහිපයකම සුදු, නිල්, දම්, රෝස ඇතුළු වර්ණ කිහිපයකින්ම නෙළුව මල් පිපී තිබුණි.
2013 වසරේ නෙළුව මල් හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ මෙවැනි ආකාරයම පිපී තිබුණ බවත්, යලිත් 2037 වසරේ නෙළුව ශාකයේ මල් හට ගන්නා බවයි පරිසරවේදීන් කියා සිටින්නේ.
හෝර්ටන්තැන්න උද්භිත උද්‍යානයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් පට්ටිපොළ හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින නිසා එය පාලනය කිරිමට අමතර පොලිස් නිලධාරීන් රාජකාරි සදහා යෙදවූ බව පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා පැවසීය.

Share This