ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ යන මහත්වරුන් ඊයේ (28) කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් හමුවූ අතර, එහිදී සේනානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර  අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකගාවය පළකරන ලදී.

එසේම මෙම වැඩසටහන පිළිබඳ තොරතුරු හා එහි වටිනාකම පිළිබඳ ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන් හරහා නව රැකියාලාභීන් වෙත ලබාදී ඒ මගින් මෙම වැඩසටහනට යොමු වන අයදුම්කරුවන් ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකියාව පවතින බවත් දැනටමත් වැඩිපිරිසක් ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන්ගේ සහ ශ්‍රමිකයන්ගේ අනුදැනුම මත මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඇති බවත් කාර්යාංශ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී ඊයේ (28) දින තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානය බලා පිටත්ව ගිය පුහුණුලාභීන් 12 දෙනෙකු සඳහා සහ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ අගෝස්තු 03 දින විදේශ ගතවීමට නියමිත රැකියාලාභීන් 8 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද සිදුවිය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට මෙම රැකියා අවස්ථා හිමිවනු ඇත.

මෙම රැකියා වැඩසටහන යටතේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස 600 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ 51 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.

Share This