හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහිව නඩුව ජූනි 17
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි 17 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගයට අදාළ සියලු ලේඛන සති දෙකක් ඇතුළත විත්තිය වෙත ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, ජූනි 17 වැනිදා නඩු විභාගය ආරම්භ කරන බවත් දැනුම් දුන්නා.
එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන්නත් විනිසුරුවරයා නියෝග කළා.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කරමින් හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමියට කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසි වන ආකාරයෙන් ක්‍රියා කර රජයට රුපියල් ලක්ෂ 88කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමා
ත්යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
