වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය අද සිට
එළැඹෙන වෙසක් පොහොයත් එක්ක පැවැත්වෙන දන්සල් ලියාපදිංචි කිරීම මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා.
ඔවුන් සඳහන් කළේ දන්සලක් සංවිධානය කරන අය තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවෙලා ලියාපදිංචි විය යුතු බවයි.
දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධායකයින්ගේ නම, ලිපිනය සහ දුරකථන අංක වගේ මූලික තොරතුරු ලබාගෙන තමයි මේ ලියාපදිංචිය සිදුකරන්නේ.
ඊට පස්සේ ආහාර පිළියෙල කරන ආකාරය, කසළ කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ සනීපාරක්ෂාව ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා බලන බවත් සඳහන් වෙනවා.
ඒ වගේම ආහාර අතින් ඇල්ලීමෙන් වැළකී අත්වැසුම් හෝ ඒ සඳහා වෙන්කර ඇති උපකරණ භාවිත කරන්න කියලාත් උපදෙස් දී තිබෙනවා.
ආහාර ඔතා දීමට මුද්‍රිත පත්තර භාවිත නොකරන ලෙසත්, පුවත්පත්වල ඇති කාබන් හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් අවධාරණය කර තිබෙනවා.
තවද දන්සල්වල භාවිත කරන ජලය පානීය ජලය විය යුතු අතර, ආහාර සහ අමුද්‍රව්‍යවල කල් ඉකුත් වීමේ දිනය ගැනත් සැලකිලිමත් විය යුතු බවයි දැනුම් දෙන්නේ.
මේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නේ නම් 1980 ආහාර පනත සහ 2011 ආහාර සුරක්ෂිතතා රෙගුලාසි යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් අනතුරු අඟවනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ කරුණු 9කින් යුත් මාර්ගෝපදේශ මාලාවට අනුව සියලු දන්සල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත්, ආහාර පිළියෙල කිරීමෙන් පසු පැය 4ක් ඇතුළත පරිභෝජනයට ලබාදිය යුතු බවත් සඳහන් වෙනවා.

