වෙනිසියුලාව අමෙරිකාවේ “51 වන ප්‍රාන්තය” වෙයිද? -ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක පින්තූරයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව අමෙරිකාවේ “51 වන ප්‍රාන්තය” ලෙස දැක්වෙන සිතියමක් තම Truth Social ගිණුමේ පළ කිරීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

එම සිතියමේ වෙනිසියුලාව අමෙරිකානු ධජයේ වර්ණවලින් පෙන්වා තිබූ අතර “51st State” යනුවෙන්ද සඳහන් කර තිබුණා. මේ පළ කිරීම ට්‍රම්ප් මීට පෙර Fox News සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී “වෙනිසියුලාව අමෙරිකාවේ 51 වන ප්‍රාන්තය කිරීම ගැන ගැඹුරින් සලකා බලනවා” යැයි පැවසීමෙන් පසු සිදු වූ එකක්.

ට්‍රම්ප් පවසා තිබුණේ වෙනිසියුලාව සතුව විශාල තෙල් සම්පත් තිබීමත්, එරට සමඟ අමෙරිකාවේ සබඳතා වැඩිවෙමින් පවතින බවත්ය. ඔහු “Venezuela loves Trump” යනුවෙන්ද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් මෙම අදහස දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, “වෙනිසියුලාව කිසිදා අමෙරිකාවේ ප්‍රාන්තයක් වෙන්නේ නැහැ. අපි ස්වාධීන රටක්” යැයි ප්‍රකාශ කර තිබෙනවා.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය සෘජු සැලසුමකට වඩා ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රචාරණ හා සමාජ මාධ්‍ය උණුසුමක් ඇති කිරීමේ ක්‍රමයක් විය හැකි බවයි. නමුත් මේ වගේ ප්‍රකාශ මඟින් අමෙරිකාව සහ දකුණු අමෙරිකානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතිය වැඩිවිය හැකි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This