ගතවූ පැය 22 ට වැඩිම වැස්ස කැස්බෑවෙන්

ගතවුණු පැය 22 ඇතුළත දිවයිනේ වැඩිම වැස්ස කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වෙලා තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ එම ප්‍රදේශයට මිලිමීටර් 204ක දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මිලිමීටර් 145.5ක් සහ වතුපිටිවලට මිලිමීටර් 105.5ක වැස්සක් ලැබී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයටත් මිලිමීටර් 121ක තද වර්ෂාවක් ලැබී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මිලිමීටර් 102.5ක් සහ හොරණට මිලිමීටර් 101.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

කාලගුණ අංශ අනතුරු අඟවන්නේ අද දිනය තුළත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලට, ඒ වගේම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාත තත්ත්වය හේතුවෙන් මේ වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Share This