විශාල සම්පත් ප්‍රමාණයක් ඇති මේ රට නාස්ති වුණේ පාලකයන්ගේ තිබුණ දූෂණය සහ නොහැකියාව නිසයි – රත්නපුර මැයි රැලියේදී අගමැති හරිනි කියයි

“මේ රටට තියෙන සම්පත් නම් අඩුවක් නෑ. හැබැයි රට මෙච්චර නාස්ති වෙලා තියෙන්නේ පාලකයන්ගේ දූෂණය සහ නොහැකියාව නිසා” කියලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියනවා. මෙම අදහස් ඇය ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝක කම්කරු දිනය නිමිත්තෙන් “ජන රජයට ජන බලයක්” කියන තේමාව යටතේ රත්නපුර නගරයේ පැවති ජන රැලියකදී
ඇය තවදුරටත් කියලා තියෙන්නේ,
“අපිට වසර එක හමාරක් වගේ කාලයක් තුළ මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණා නම්, තවත් වසර කිහිපයකින් රට ඉතා ඉහළ තැනකට ගෙනියන්නත් අපිට පුළුවන්” කියලා.

ඒ වගේම ජනතාව දුන්න ජනවරම රකිමින්, ඒකට අනුකූලව රජය වැඩ කරගෙන යනවා කියලත් ඇය කියනවා.

සම්පූර්ණ කතාව පහතින්
උපුටාගැනීම

විශාල සම්පත් ප්‍රමාණයක් ඇති මේ රට නාස්ති වුණේ පාලකයන්ගේ තිබුණ දූෂණය නිසා බවත්, වසර එක හමාරකින් ණය නොවන තත්වයට රට පත් කළා නම් තව වසර කිහිපයකින් රට ඉතා ඉහළ තැනකට ගෙන ආ හැකි බවත්, ජනතාව දුන් වරම ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජන රජයට ජන බලයක් යන තේමාවෙන් මැයි පළමු වැනි දිනට යෙදුණ කම්කරු දිනය සමරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රත්නපුර නගරයේදී මේ බව සඳහන් කළාය.

රත්නපුර බටුගෙදර විද්‍යරාජ විද්‍යාලය අසලින් ආරම්භ කළ පාගමන කිලෝමී⁣ටර් 3ක පමණ මග ගෙවා රත්නපුර නගරයට පැමිණීමෙන් අනතුරුව ජාතික ජන බලවේගය සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් මැයි රැළිය ආරම්භ විය.

මෙහිදී අදහස් දැක් වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අද දිනයේ ජනතාව, විපක්ෂයට හොඳ උත්තරයක් දුන්නා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැයි දිනය දිස්ත්‍රික්ක විසි එකක පවත්වන්න අපට පුළුවන් වුණා.

අද ඓතිහාසික දිනයක්. ජනරජයට ජන බලය කියන්නේ මෙන්න මේකයි. මේ ජන බලය තමයි අපේ ආණ්ඩුව පත් කළේ. මේ ජනරජය නිර්මාණය වුණේ නිකන්ම නෙවෙයි. මේ ජන රජය ඔබේ ඡන්දයෙන්, ඔබේ මහන්සියෙන්, අවුරුදු ගණන් දශක ගණන් ඔබේ කැපවීමෙන් මේ ජනරජය හදා ගත්තේ. ඒ ජනරජයේ ජන බලය තමයි අද අපි මේ පෙන්වන්නේ. මට මතක් වුණේ අපි කාන්තා දිනය. එදා අපිට විපක්ෂයට වඩා කාන්තා සහෝදරියන් විතරක් දහස් ගණනකින් එකතු කරන්න පුළුවන් වුණා. අද විපක්ෂයට ඒකවත් කරගන්න බැහැ. නමුත් ආණ්ඩු පෙරලන්න හදනවා. අපි පෙන්නන්නම් එන පාර මැයි දිනයේදී වෙනම ම කාන්තාවන් විතරක් ගෙන්නලා ජන බලය කොහොමද කියලා.

කිසිම කලබලයක් අපිට නෑ, අපේ ආණ්ඩුව තාම වසර එකහමාරයි සම්පූර්ණ කරලා තියෙන්නේ. අපිට කරන්න වැඩ බොහොමයක් ඉතුරු වෙලා තිබෙනවා. ඔබේ වෙහෙස මහන්සියෙන්, ඔබේ ඡන්දයෙන් අපිට භාර දුන්න රට අපි හදනවා. අපි එකතුවෙලා හදනවා. අපි නියෝජනය කරන්නේ මේ රාට් ජනතාව. ඔබ අපිට දුන්න ඒ වරම අපි ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. අපි උත්තර දෙන්නේ ඔබ සියලු දෙනාටයි. අපේ බැඳීම තියෙන්නේ මේ රටේ ජනතාව සමගයි. මේ අවුරුදු එකහමාර තුළත් අපිට ලැබුණු කඩා වැටුණු රට ක්‍රමානුකූලව ගොඩනගන්න අපේ රජය පියවර ගණනාවක් ගත්තා.

අපි රාජ්‍ය සේවයේ පඩි වැඩි කළා. 2027 තව වතාවක් වැඩි වෙන්න නියමිතයි. දශක ගණනාවක් සටන් කරපු වතු ජනතාවගේ පඩි වැඩි කරගැනීමේ අරගලය, අරගලයක් නැතුවම ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු ගණනාවක් රාජ්‍ය සේවයේ රැකියා දෙන්න බැරි වුණා. පුරාප්පාඩු පුරවගන්න බැරිවෙලා ආයතන වැඩ කර ගන්න බැරුව හිර වෙලා තිබුණා. අපේ අධ්‍යාපන පද්ධතියත් එහෙමයි. නමුත් මේ අවුරුදු එකහමාර තුළ අපි රාජ්‍ය සේවයේ රැකියා එක් ලක්ෂ විසි දාහක් අනුමත කරලා ලබා දීලා තියෙනවා. මේ මැයි මාසේ 24 වෙනිදා ගුරුවරුන් විසිතුන් දාහකට වැඩිය බඳවා ගන්න විභාගය අපි පවත්වනවා. අවුරුදු පහකින් පැවති ආණ්ඩු ගුරුවරුන් බඳවාගෙන තිබුණේ නැහැ. අපේ රජය ඉතිහාසයේ වැඩිම උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම කරනවා. විසිතුන් දහස් ගණනකට වැඩියෙන් අපි බඳවා ගන්නවා. මේ අවුරුද්ද අග විද්‍යාපීඨ ගුරුවරු ගන්නවා. තව මාස කීපයකින් විද්‍යා පීඨයට තුන්දාහක් විතර බඳවගන්න කටයුතු කරනවා. මේ සියලු දේම අපි සැලසුම් කරගෙන යන්නේ. එක රැකියාවක්වත් අපි අපේ හිතවතුන්ට, අපේ නෑදෑයන්ට අපේ දේශපාලන බලය පාවිච්චි කරලා දුන්නේ නැහැ. විභාග තියලා සම්මුඛ පරීක්ෂණ තියලා පිළිවෙලට ඒ ඒ සුදුසුකම් තියෙන අයට තමයි අපි ඒ රැකියා දුන්නේ. මේ රට හදන ඒ මග අපි හරියට හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නේ.

ඔබ දන්නවා අපි බලාපොරොත්තු නොවුණ විදියට අපිට දිට්වා ආපදාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. රජය වසර එක හමාරක් තුළ මේ ආර්ථිකය කළමනාකරණය කරපු විදිය නිසා, නාස්තිය දූෂණය වංචාව රජය තුළ දේශපාලන අධිකාරිය තුළ නැති කරපු නිසා, අපි ණය නොවී, මුදල් අච්චු ගහන්නැතුව කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව අපේ මුදලින් බිලියන 500 වෙන්කරන්න අපිට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි කෝටි දහදාහක්. ඒ විතරක් නෙවෙයි, මැද පෙරදිග යුද්ධයත් එක්ක අපේ රටේ ඇති වෙලා තියෙන අර්බුධයට මැදිහත් වෙන්න කෝටි දාහක් වෙන් කළා. ආර්ථිකයක කළමනාකරණය කරගෙන තමයි අපි ඒ මුදලත් වෙන්කරලා තියෙන්නේ. ඒ හරහා තමයි අස්වැසුම ලාභීන්ට වැඩිපුර දීමනාවක් අප්‍රේල් මාසේ දෙන්න පුළුවන් වුණේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් අපිට හැකියාව තිබුණා ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා දෙන්න. අපි එක දවසක් රට වැහුවේ නෑ. අපි මේ රට පවත්වාගෙන ගියා. අපේ අසල්වැසි රටවල ගෙදර ඉඳන් වැඩ කරන්න කිව්වා, ඉස්කෝල වැහුවා, කඩ සාප්පු වැහුවා. ඒ රටවල පෝලිං ඇති වෙලා තියෙන අවස්ථාවක වුණත් අපිට පුළුවන් වුණා ඒක කළමනාකරණය කරන්න.

අපේ රට මෙච්චර සම්පත් තියෙන රටක් මේ රට නාස්ති වුණේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි පාලකයන්ගේ තිබුණ දූෂණය නිසයි. අපිට පුළුවන වුණා නම් වසර එක හමාරකින් මෙහෙම හරවන්න, හිතන්න තව අවුරුදු කීපයක් යනකොට මේ රට තියෙන්න පුළුවන් තැන කොහොම වෙයිද කියලා.

විපක්ෂය කලබල වෙන එකට අපිට කරන්න දෙයක් නෑ. අපි මොකක්ද කරලා තියන්නේ නවත්තලා තිබුණ විමර්ෂණ හරියට කරගෙන යනවා. අලුත් අධිකරණ හදලා තියෙනවා. ඉස්සර ඇමතිවරුන් හිටපු ගෙවල් අපි අධිකරණ බවට පත්කරලා දිනපතා නඩු අහලා ජනතා මුදල් අවභාවිතා කරපු අයටනිසි දඬුවම දෙනවා. විපක්ෂයට හොරු නෑ කියලා, හොරකම් කළේ නැහැ කියලා කියන්න බැහැ. ඒ නිසා අපි හොරුන් කියලා කියන්න පුදුම වෙහෙසක් වෙනවා. සතියකට මොකක් හරි එක මාතෘකාවක් හොයාගෙන දඟලනවා. ඒ මාතෘකාව තියාගෙන යන්න පුළුවන් වෙන්නේ සතියයි. මොකද ඒ සියල්ලම බොරු නිසා. ඒ සියල්ලම ඔවුන් හදන කතා කියන එක ජනතාව හොඳට දන්නවා. මාධ්‍ය භාවිතා කරලා විපක්ෂය සිදු කරන්නේ ඛේදවාචකයක්, ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අවශ්‍යයි. ආණ්ඩුවේ හරි වැරදි පිලිබඳ දියුණු විවාදයක් ඇති කරන්න විපක්ෂයක් අවශ්‍යයි. නමුත් මේ විපක්ෂය තුළ ඒ කාර්ය භාරය ඉටුවෙන්නේ නැහැ.

විපක්ෂයක කාර්යභාරය හෝ නිවැරදිව ඉටු කළහොත් තව බෝහෝ කලකට පසුව හෝ ආණ්ඩු බලය ලබාගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රීක් ජන රැලියට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, දිස්ත්‍රික් නායක ශාන්ත පත්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, නීතිඥ නිලූශා ලක්මාලි,වසන්ත පුෂ්පකුමාර , සුනිල් රාජපක්ෂ, නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල ඇතුලු නගරසභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
උපුටා ගැනීම අවසන්

Share This