තායිවාන ජාතික තරුණියක් තරු ඉබ්බන් 30ක් සිරුරට බැඳගෙන සිටියදී අත්අඩංගුවට
තායිවාන ජාතික 19 හැවිරිදි තරුණියක් බැංකොක් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය තම යට ඇඳුම් යට ඉන්දියානු තරු ඉබ්බන් 30 දෙනෙකු සඟවාගෙන තායිපේ වෙත ගෙන යාමට උත්සාහ කළ බවට චෝදනාව මතයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.
බලධාරීන්ට ඇයගේ හැසිරීම ගැන සැකයක් ඇතිව සෝදිසි කළ විට තාරකා ඉබ්බන් 29 දෙනෙක් ජීවත්ව සිටි අතර එක් ඉබ්බෙක් මියගොස් තිබුණා. ඉබ්බන් රෙදි බෑග්වල දමා ඇලවුම් පටි වලින් ඇගේ සිරුරට බැඳ තිබූ බවත් සඳහන් වෙනවා.
මෙම තරු ඉබ්බන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් අතරට අයත් වන අතර, කළු වෙළඳපොළේ විශාල වටිනාකමක් තිබෙනවා. ඒවායේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 9,000ක් පමණ බව තායි රේගු නිලධාරීන් කියනවා.
නීති විරෝධී ලෙස සතුන් ප්රවාහනය කිරීම සහ රේගු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල කර තිබෙන අතර, ඇය ජාවාරම් ජාලයක කොටසක්ද කියලාත් විමර්ශන පැවැත්වෙනවා.
බේරාගත් ඉබ්බන් දැන් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන රැකබලා ගැනෙනවා.
