මැතිවරණ පරාජයෙන් පසු ස්ටාර්ලින් මහඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකදී පැවති ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන වෙනස්කම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ස්ටාලින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාර කාර්යාලයට භාරදී ඇති අතර, තමිල්නාඩුවේ අතිරේක ආණ්ඩුකාර වගකීම දරණ රාජේන්ද්‍ර විශ්වනාත් ආර්ලේකර් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරනු ඇති බව වාර්තා වනවා.

ඉල්ලා අස්වීමෙන් පසු ස්ටාලින් සිය X ගිණුමේ “මහ ඇමති” යන තනතුර ඉවත් කරමින්, තමන් DMK පක්ෂයේ සභාපතිවරයා ලෙස පමණක් හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම, මැතිවරණයේදී DMK සන්ධානයට සහය ලබාදුන් ජනතාවට ස්තූතිය පළ කරමින් ඔහු විශේෂ සටහනක්ද තබා තිබෙනවා.

“DMK සන්ධානයට ඡන්දය ලබාදුන් තමිල්නාඩු ජනතාවට මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා. සෑම ඡන්දයක්ම ජනතාවගේ විශ්වාසයේ සංකේතයක්,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර, සියලුම DMK අපේක්ෂකයින් ජනතාව හමුවී ඔවුන්ගේ සහයෝගයට ස්තූති කරන ලෙසද ස්ටාලින් ඉල්ලා තිබෙනවා. රජයක හෝ විපක්ෂයක සිටියත් ජනතාවට සේවය කිරීම පක්ෂයේ ප්‍රධාන වගකීම බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

මැතිවරණ ප්‍රතිඵල අනුව, විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් විශාලතම පක්ෂය ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

DMK පක්ෂය ආසන 59ක් දක්වා පහත වැටී ඇති අතර, AIADMK ආසන 48ක් දිනාගෙන තිබෙනවා.

ස්ටාලින්ගේ ඉල්ලා අස්වීම තමිල්නාඩු දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස සැලකෙන අතර, ඉදිරියේදී DMK පක්ෂය විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉටු කරනු ඇති බවටද ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

Share This