මතකයෙන් නොමැකෙන රිදී රේඛාව…

ශ්‍රී ලාංකේය සිනමාවට අලුත් පාරක් හදා දුන්න මහත්මයා විදිහට සැලකෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අපෙන් වෙන් වෙලා අදට වසර 8ක් සම්පූර්ණ වෙනවා.

එදා සිංහල සිනමාව දකුණු ඉන්දීය ආභාෂයට සහ ස්ටූඩියෝ රූගත කිරීම්වලට හිරවෙලා තිබුණු කාලෙක, 1956දී ඔහු නිර්මාණය කළ රේඛාව චිත්‍රපටයත් එක්ක සිංහල සිනමාවට අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් ලැබුණා.

ගමේ පසුබිම, ස්වාභාවික දෙබස් සහ සරල ජීවිත කතාවක් එක්ක එදා “රේඛාව” චිත්‍රපටය ජනතාව අතරට ආවේ, දේශීය සිනමාවකට පණ දීපු නිර්මාණයක් විදිහටයි.

1919 අප්‍රේල් 5 වැනිදා උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, කුඩා කාලේ ඉඳන්ම සිනමාවට ලොකු ආසාවක් තිබුණු කෙනෙක්. ඔහුට ඔහුගේ පියා දුන්න 8mm ප්‍රොජෙක්ටරයක් තමයි ඒ ආසාවට මුල්වෙලා තිබුණේ.

පසුව ලන්ඩනයට ගිය ඔහු, BBC ආයතනයේ සහ පුවත්පත් ක්ෂේත්‍රයේ වැඩ කළත්, ඔහුගේ හදවත තිබුණේ සිනමාව එක්කයි.

1949දී ඔහු නිර්මාණය කළ Soliloquy චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයක් දිනාගෙන ආසියාවටම ගෞරවයක් ගෙනාවා.

ඊට පස්සේ ශ්‍රී ලංකාවට ආපු ලෙස්ටර් මහතා වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළා වගේම, පසුව සිංහල සිනමාවේ දැවැන්ත නිර්මාණ ගණනාවක් ජනතාවට දායාද කළා.

ගම් පෙරළිය, දෙලොවක් අතර, රන් සළු සහ නිධානය වගේ චිත්‍රපට හරහා ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ලෝකයටම අරගෙන ගියා.

ඒ වගේම අයිරාංගනී සේරසිංහ සහ ගාමිණි ෆොන්සේකා වැනි දැවැන්ත කලාකරුවන් සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයත් ඔහුට හිමි වෙනවා.

2018 අප්‍රේල් 29 වැනිදා ඔහු අප අතරින් සමුගත්තත්, ඔහු නිර්මාණය කළ සිනමා කෘති අදටත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ජීවමානයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ චිත්‍රපට හැදූ කෙනෙක් විතරක් නෙවෙයි… ශ්‍රී ලාංකේය සිනමාවට අනන්‍යතාවයක් හදා දුන්න විප්ලවීය සිනමාකරුවෙක්.

Share This