පාස්කු ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශන කෙටි කල­කින් අව­සන් කර­නවා – ඇමැති ආනන්ද විජේ­පාල

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින විමර්ශන කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශ්වාසය පළ කරනවා.

ඊයේ (21) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අදාළ විමර්ශන මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඉදිරියට ගමන් කරමින් පවතින බවයි. ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව ඒ සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කරනවා.

මෙම විමර්ශනවල වත්මන් තත්ත්වය හා ප්‍රගතිය පිළිබඳව අධිකරණයටද මේ වන විට වාර්තා කර ඇති බව අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ සියලු පරීක්ෂණ කටයුතු නිසි ලෙස අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කරනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට පමණක් නොව, මෙරට සිදුවන සියලු නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන අතර විශේෂයෙන් අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අයථා භාවිතයන් සම්බන්ධ විමර්ශන පූර්ණ විනිවිදභාවයකින් සිදු කරන බවද ඔහු අවධාරණය කරනවා.

ඒ අතර, එළඹෙන මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සියලුම මැයි රැලි සහ උත්සව සඳහා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විට සම්පූර්ණයෙන් සකස් කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This