පවතින පුරප්පාඩු අවම කිරීමට පොලීසියට අලුතෙන් 10,000ක්
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල හිඟය පුරවීම සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජය අනුමැතිය ලබාදී ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා බවසනවා. එම බඳවා ගැනීම් සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.
මෙම මාසය අවසන් වන විට උප පොලිස් පරීක්ෂකවරු 1,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, කොස්තාපල්වරු 2,500ක් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.
මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ, පසුගිය මාස තුන තුළ වයස් සීමාව ඉක්මවා ගිය නිලධාරීන් 1,200ක් විශ්‍රාම ගොස් ඇති බවයි. එමෙන්ම අසනීප තත්ත්වයන් සහ පෞද්ගලික හේතු මත වයස අවුරුදු 55 සම්පූර්ණ කළ තවත් පිරිසක්ද සේවයෙන් ඉවත් වෙමින් සිටින බව ඔහු පවසනවා.
මෙම හිඟය පිරවීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 6,000කට ආසන්න පිරිසක් පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති අතර, ඉදිරියේදී තවත් 4,000 සිට 5,000 දක්වා පිරිසක් එක් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ් මහතා සදහන් කරනවා.
සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඉල්ලුම්පත්‍ර රැසක් ලැබී ඇති අතර, ඉදිරියේදී උපසේවා මාර්ගයෙන්ද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවද දැනට සේවයේ නිරත නිලධාරීන් අතරින් 191 දෙනෙකු එම තනතුර සඳහා බඳවා ගැනීමටත්, සේවා කාලය සම්පූර්ණ කළ 141 දෙනෙකු උසස් කිරීමටත් අදාළ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද සදහන් කරනවා.
මේ අතර, පොලිස් දෙපාර්තමේන්තුව තුළ සම්පූර්ණයෙන්ම 40,000ක පමණ නිලධාරී හිඟයක් පවතින බවද පොලිස්පතිවරයා අවධාරණය කරනවා.
