රාජගිරියේ රිය අනතුර සම්බන්ධ විමර්ශනයට පාඨලී දුරකතනය භාර දෙන්න බෑ කියයි
හිටපු අමාත්‍යවරයෙකු සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් 2016 දී රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාළව, මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට ලැබී ඇති පැමිණිල්ලක් මත “වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය” විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තියෙනවා.
එම විමර්ශනයට අදාළව, රණවක මහතාගේ ජංගම දුරකථනය පරීක්ෂණ සඳහා භාරදෙන ලෙස ඔහුට දැනුම් දී තිබුණද, එය භාරදීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, අධිකරණ නියෝගයකට අනුව ඔහු ලබන 29 වැනිදා එම දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, සාක්ෂිකරුවෙකු විසින් තර්ජන හා බලපෑම් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව පෙබරවාරි මාසයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා රණවක මහතාගේ සමීපයෙකු ලෙස සැලෙකනවා.
සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඔහු සහ රණවක මහතා අතර මකා දැමූ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු කිහිපයක් පිළිබඳ සැකයක් මතුවී ඇති අතර, ඒවා මෙම විමර්ශනයේ වැදගත් සාක්ෂි විය හැකි බවට විශ්වාස කරන අතර වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාර්තු 16 වැනිදා රණවක මහතා පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. පසුව එම විමර්ශනය නැවතත් “වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය” වෙත භාර දී තිබෙනවා.
රණවක මහතා දුරකථනය භාරදීමට ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එය ලබාගැනීමට කොට්ඨාසය දිගින් දිගටම උත්සාහ කර ඇති අතර, අවසානයේ ඔහු එය අධිකරණයට ඉදිරිපත් කිරීමට එකඟ වී ඇති බව සඳහන් වෙනවා.
ඒ අනුව, අදාළ දුරකථනය අධිකරණ නියෝගයකට අනුව රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වෝහාරික පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. එහිදී සැකකරු සහ රණවක මහතා අතර සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමට අදාළ පණිවිඩ හුවමාරු වී ඇත්ද යන්න විමර්ශනය කරනු ඇත.
එමෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරු දේශපාලන හේතු මත පෙර පක්ෂයෙන් ඉවත් වී රණවක මහතා සමඟ අසමගී තත්ත්වයක සිටි බවද වාර්තා වෙනවා.
