කොත්මලේ ජලාශ වේල්ල විවෘත කරයි – අවසන් මුදාහැරිම කර ඇත්තේ 2024 වර්ෂයේදී

මධ්‍යම කඳුකරයේ පිහිටි කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය තුළ සන්ධානය වී තිබූ රොන් මඩ ඉවත් කිරීම සඳහා එහි මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් පසුගිය කාලය තුළ ජලාශයට විශාල වශයෙන් රොන් මඩ තැම්පත්වී තිබූ අතර, එය ජලාශයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කළ බව සඳහන් වේ.
මෙම රොන් මඩ ජලාශ වේල්ල අසළට විශාල වශයෙන් ගලා ඒම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස ජලාශ වේල්ලට පහළින් ගලා යන කොත්මලා ඔය දෙපස පදිංචි ජනතාවට සහ අදාළ රාජ්‍ය ආයතන වෙත පෙරදැනුම් දී මෙම ක්‍රියාවලිය සිදු කළ බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවේදී තත්පරයට ජලය ඝන මීටර් 90ක් පමණ පිටවී තිබූ අතර, එය සීමිත ජල ධාරිතාවයක් ලෙස සලකනු ලබයි.
මේ අතර, වර්තමානයේ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, එය සියයට 27.7ක් දක්වා අඩු වී ඇති බවද වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් යටතේ ජලාශයේ පාලනය සහ නඩත්තුව සඳහා මෙම මඩ සොරව් ක්‍රියාවලිය වැදගත් පියවරක් ලෙස සලකනු ලැබේ.
සඳහන් කර ඇති පරිදි, මෙම ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කර තිබුණේ 2024 වසරේදී වන අතර, එතැන් සිට පළමු වරට මෙවර එය නැවත ක්‍රියාත්මක කර තිබේ.
