එජාපය සහ සජබය ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා කඩිනම් කෙරේ

එජාපය සහ සජබය ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා කඩිනම් කෙරේ

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජනබලවේගය ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ නව මහලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මියගේ කඩිනම් මැදිහත්වීමෙන් මෙම සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

වර්තමානයේ ඇතිවී තිබෙන සමාජ, ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක් පිළිබඳව නැගෙන යෝජනාවලට පිළිතුරක් ලෙසින් අදාළ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යෑම ආරම්භ කරන බවයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ සඳහා වන සාකච්ඡා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමටද යෝජනා වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා සහ තලතා අතුකෝරල මහත්මියගේ මූලිකත්වයෙන් දෙපාර්ශ්වය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩ නැගීමේ සාකච්ඡා පසුගිය මහ මැතිවරණයට පෙර ආරම්භ වුවද එහිදී අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වුණා.

මෙවර ආරම්භ කෙරෙන සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නිදහස ලබා දී තිබෙන බව වාර්තා වනවා.

සමගි ජනබලවේගය සහ එජාප එකතුවක් වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව පවතින බවයි සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

 

Share This