පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරි දිනක
පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කළා.
ඊට අදාළ තීන්දුව ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත දැනුම්දෙන බවයි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලූතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.
මේ හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබු අපේක්ෂකයන්ට ඉමහත් අසාධාරණයක් සිදු වනවා.
ඒ හේතුවෙන් මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කී නීතීඥවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන ලෙසටයි, පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වුයේ පනත් කෙටුම්පතේ තිබු දුර්වලතා මගහැරීම බවත් නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්රජාන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවත් ප්‍රකාශ කළා.
මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වනවා.
ඉන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවයි, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ.
මෙම පනත් කෙටුම්පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවත් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියෙන් මෙම පනත සම්මත කළ හැකි බවත් ප්‍රකාශ කළා.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බවයි දැනුම් දුන්නේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ භූපති කහපිටිය මහතා සමඟ ජනාධිපනීතිඥවරුන් වන විරාජ සිල්වා සහ රහුෆ් හකිම් යන මහත්තුරු පෙනී සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.