‘පොප් රැජින’ තමන් බව ලොවට පෙන්වූ 65 හැවිරිදි ‘මැඩෝනා’
දශක හතරක වෘත්තීය ජීවිතය තුළ මෙතෙක් පැවති විශාලතම සංදර්ශනයට ප්‍රෙක්ෂකයින් මිලියන 1.6ක්
‘පොප් රැජිණ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලොව අතිශය ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක්, ගීත රචිකාවක් සහ රංගන ශිල්පිනියකද වන ‘Madonna Louise Ciccone’ ගේ සංගීත ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයේ Rio de Janeiroහි – කොපකබානා වෙරළ තීරය වෙත ප්‍රේක්ෂකයින් මිලියන 1.6ක් පැමිණ තිබෙනවා.
මෑත කාලයේ ප්‍රසංගයක් නැරඹීම සඳහා එවැනි විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවූයේ මැඩෝනට වීමද විශේෂත්වයක්.
මේ වනවිට එය ලෝ පුරා වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වන අතර මෙවැනි විශාල ප්‍රේක්ෂක ජනකායක් ගායන ශිල්පි මැඩෝනා හෝ අපේක්ෂා නොකරන්නට ඇති බවටයි විචාරකයින් අදහස් පළකරන්නේ.
මෙම සංගීත ප්‍රසංගය සඳහා ‘Madonna Louise Ciccone’ ඩොලර් මිලියන 3.9ක වියදමක් දරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩන් නුවරදී ආරම්භ වූ ‘මැඩෝනාගේ’ පළමු සංගීත සැමරුම් චාරිකාවේ අවසන් සංදර්ශනය ද එය වනු ඇති.
මැඩෝනාගේ මෙම ප්‍රසංගය නැරඹීමට වෙරළ තීරයට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට අමතරව ඒ අවට මහල් නිවාසවල සහ හෝටල්වල සාද පවත්වා ඇති අතර හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ඉහළට පියාසර කර තිබු අයුරුද දක්නට ලැබී තිබෙනවා.
එමෙන්ම ප්‍රසංගය පැවැත්වූ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ මෝටර් බෝට්ටු සහ රුවල් බෝට්ටු ද ප්රෙක්ෂකයින්ගෙන් පිරී ගිය අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සංගීත ප්‍රසංගය අතරතුරදී මැඩෝනා මෙලෙස අදහස් පළකළා,
“අපි ඉන්නේ ලෝකයේ ලස්සනම තැනක..” සාගර දර්ශනය, කඳු සහ නගරයට ඉහළින් ඇති ක්‍රිස්තු විමුක්තිදායක ප්‍රතිමාව පෙන්වා දෙමින් ඇය කියා සිටියේ “මෙම ස්ථානය මැජික් එකක්.” යන්නයි.
‘මැඩෝනාගේ’ දශක හතරක වෘත්තීය ජීවිතය තුළ මෙතෙක් පැවති විශාලතම සංදර්ශන මෙය ලෙස ද හුවා දක්වා තිබෙනවා.
1958 වසරේ අගෝස්තු මස 16 වැනිදා එක්සත් ජනපදයේ උපත ලද මැඩෝනා මේ වනවිට 65 වන වියේ පසුවනවා.
ලොව පුරා වාර්තා මිලියන 300 කට අධික අලෙවියක් ඇති මැඩෝනා, මෙතෙක් වැඩියෙන්ම අලෙවි වන කාන්තා පටිගත කිරීමේ ශිල්පිනිය වන අතර ඇය ලෝකයේ වඩාත්ම සාර්ථක ඒකල ශිල්පිනිය ලෙසද වාර්තා රැසකට හිමිකම් කියනවා.
මීට පෙරද කොපකබානා වෙරළ තීරයේ දැවැන්ත ප්‍රසංග ගණනාවක් පවත්වා තිබුණා.
‘රොඩ් ස්ටුවර්ට්’ විසින් 1994 වසරේ නව අවුරුදු සංදර්ශනයක් ද ඇතුළුව මිලියන 4 කට අධික රසිකයින් ආකර්ෂණය කර ගත් අතර එය ගිනස් ලෝක වාර්තාවලට අනුව ඉතිහාසයේ විශාලතම නිදහස් රොක් ප්‍රසංගය විය.
2006 වසරේ දී ‘රෝලිං ස්ටෝන්ස්’ ගේ ප්‍රසංගයට මිලියන 1.2 ක ජනතාවක් එම වෙරළ තීරයට පැමිණ තිබුණා.