රුසියාවෙන් අමෙරිකානු ජනපතිවරණයට බලපෑම්: ට්‍රම්ප් සහ හැරිස් කරට කර තරගයට වෙන්න යන දේ
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් මීළඟ ජනාධිපති වීමට තරඟ වදින එක්සත් ජනපදයේ ජනපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
78 හැවිරිදි ට්‍රම්ප් සහ 60 හැවිරිදි හැරිස් ප්‍රායෝගිකව සම තත්ත්වයේ පසුවන නමුත් අපේක්ෂකයින් දෙදෙනාම ජයග්‍රහණය ගැන අනාවැකි පළ කරමින් තම අවසන් මැතිවරණ රැලිවලට සහභාගී වූ බව සඳහන්.
පෙන්සිල්වේනියාවේ දී ජනතාව අමතමින් හැරිස්, ගබ්සා කිරීමේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර වැඩ කරන පවුල් සඳහා ආහාර සහ නිවාස වියදම් අඩු කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා.
ට්‍රම්ප් දේශ සීමාව මුද්‍රා තැබීමට ප්‍රතිඥා දී ඇති අතර ට්‍රිලියන ගනණක් වටිනා බදු කප්පාදු යෝජනා කර ඇති බව සඳහන්.
ට්‍රම්ප් සිය ප්රචාරක ව්‍යාපාරය අවසන් කළේ මිචිගන්හි දේශනයකින්වන අතර එය තම දේශපාලන දිවියේ අවසන් රැලිය බවයි ප්‍රකාශ කර ඇත්තේ.
2015 සිට පැවැත්වූ 930වන රැලිය එයවන අතර නැවත දේශපාලනයට පිවිසීමට අදහස් නොකරන බවත් එහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.
මිලියන 82කට අධික ජනතාවක් මැතිවරණ දිනයට පෙර දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඔවුන් දෙදෙනාම ඉල්ලා ඇත්තේ.
2020 දී කළාක් මෙන් ඕනෑම පරාජයකට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන බවට දැනටමත් ට්‍රම්ප් සඳහන් කර ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.
මේ අතර එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානීන් අනතුරු අඟවන්නේ රුසියාව ඇතුළු “විදේශීය විරුද්ධවාදීන්” “එක්සත් ජනපද මැතිවරණවල අවංකභාවය පිළිබඳ මහජන විශ්වාසය අඩපණ කිරීමට සහ අමෙරිකානුවන් අතර බෙදීම් ඇති කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලය, FBI සහ Cybersecurity and Infrastructure Security Agency කියා සිටියේ රුසියාවට සම්බන්ධ කණ්ඩායම් මැතිවරණ නිලධාරීන්ට එරෙහිව ප්රචණ්ඩත්වය උසිගන්වන බවත් ඡන්ද වංචා පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ ප්‍රචාරය කරන බවයි.
ප්‍රධාන ප්‍රාන්තවල නිලධාරීන් ඡන්ද පෙට්ටි පුරවා ජනාධිපතිවරණය වංචා කිරීමට සැලසුම් කර ඇති බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් ලිපියක්ද ප්‍රසිද්ධ කර ඇති අතර, මෙම උත්සාහයන් ඉදිරි දිනවලදී තීව්ර වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.