බදුල්ලේ මාරක රිය අනතුරේ රියැදුරු ගැන බරපතල අනාවරණයක්: රියැදුරුගේ බලපත්‍රය මාස පහකට අත්හිටවපු එකක්

බදුල්ලේ මාරක රිය අනතුරේ රියැදුරු ගැන බරපතල අනාවරණයක්: රියැදුරුගේ බලපත්‍රය මාස පහකට අත්හිටවපු එකක්

බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ රියදුරු බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඔහු පසුගියදා ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී අගෝස්තු මස 04 වැනිදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අනතුරුව සැකකරු අගෝස්තු මස 06 වැනිදා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක දඩයක් නියම කර එහිදී රියදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇති බවටයි අද (05) අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් මෙම කරුණු අද (05) ඉදිරිපත් කර තිබෙනවා.

බලපත්‍රය අත්හිටුවීමෙන් පසු එම රියැදුරු විසින් හිනිදුම පොලිසියට ගොස් සිය රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව සඳහන්.

පසුගියදා බදුල්ලේ සිදුවු මාරක රිය අනතුර අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ඇත්තේ එලෙස ලබාගත් රියදුරු බලපත්‍රය බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මෙම කරුණු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි ගමගේ මහත්මිය නියෝග කළේ සැකකරුගේ රියදුරු බලපත්‍රය මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙසටයි.

සැකකාර රියැදුරු උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

පසුගිය පළමුවැනිදා බදුල්ල – දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීයාම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුවු අතර එම අනතුරින් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 42 දෙදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ සිට ඇති අතර අනතුරින් 40 දෙනෙකු තුවාල ලබා තිබුණා.

බරපතල තුවාල ලැබූ ශිෂ්‍යයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර තිබු අතර මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ගාල්ල ෆර්හාන් නිසාම්දින්
Share This