‘එක්ව කටයුතු කිරීමෙන් අපට ඉන්දියානු සාගර කලාපය සහයෝගීතාවයේ සහ තිරසාර සංවර්ධනයේ ආකෘතියක් බවට පරිවර්තනය කිරීමට හැකි වනු ඇත’ – ආරක්‍ෂක ලේකම්

‘එක්ව කටයුතු කිරීමෙන් අපට ඉන්දියානු සාගර කලාපය සහයෝගීතාවයේ සහ තිරසාර සංවර්ධනයේ ආකෘතියක් බවට පරිවර්තනය කිරීමට හැකි වනු ඇත’ – ආරක්‍ෂක ලේකම්

දූපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට සාගරය හා බද්ධ වූ ගැඹුරු සම්බන්ධතාවයක් පවතින බවත්, එය අපගේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන්නා වූ හවුල් උරුමයක් ලෙස ද සැලකිය හැකි බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරනවා.

ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (දෙසැ 11) දින රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අමතමින්.

ඉන්දියන් සාගරය තවත් එක් ජල තලයකට පමණක් සීමා නොවන බවත්, එය කලාපීය සංවර්ධනය සඳහා ලැබෙන අවස්ථාවන්ගේ මාවතක් සහ හවුල් වගකීමේ කලාපයක් වන බවයි ආරක්‍ෂක ලේකම්වරයා එහිදී සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා,

“මෙම සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies), විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක කටයුතු කරනු ලබන අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධානතම හා උපායමාර්ගික වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් ලෙස ක්‍රියා කරනු ඇත. එමගින් ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත රටවල සිදුකෙරෙන අන්තර්ජාතික ක්‍රියාකාරකම්වලදී ආයතනික සහ මෙහෙයුම් ඵලදායීතාවය ඉහළ නැංවිය හැකිවනු ඇත. වර්තමානයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමටත් ඉදිරියේදී ඇති විය හැකි අභියෝග සඳහා අවශ්‍ය පෙර සූදානම සැකසීමේදීත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.”

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීව සිටියේ, ප්‍රංශ ජනරජයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descôtes මහත්මිය යි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක්ව කටයුතු කර ඇති අතර මෙමගින්, විෂයානුබද්ධව කටයුතු කරන විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, කලාපීය නාවික හමුදා, වෙරළාරක්‍ෂක ඒකක සහ පෞද්ගලික අංශයේ සමුද්‍රීය පාර්ශවකරුවන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වැඩබලන ප්‍රංශ තානාපතිනි අතිගරු Marie-Noëlle Duris, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර සහ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කපිතාන් චමිල ඊ. මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

සමාරම්භක උත්සවයට පෙර ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රංශ ජනරජයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම්, නාවික හමුදාපති සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණා.

Share This