2027දී කොටුව සිට රාගමට Metro දුම්රියක්

ශ්‍රී ලංකාවේ තදාසන්න දුම්රිය සේවාව විදුලියනය කරලා නවීකරණය කිරීමේ විශාල වැඩපිළිවෙළක් 2027 වසරේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා කියනවා.
ඔහු කියන්නේ මුලින්ම ගංවතුර, නායයෑම් සහ අයහපත් කාලගුණය නිසා හානි වූ දුම්රිය මාර්ග අලුත්වැඩියා කරලා සාමාන්‍ය සේවා යථා තත්ත්වයට පත් කරන බවයි. ඊට පස්සේ නැවතත් එවැනි හානි අවම කරන්න රැඳවුම් බිත්ති සහ ජලාපවහන පද්ධති වගේ ආරක්ෂිත වැඩ කටයුතුත් සිදු කරනවා.
ඊළඟ අදියරේදී වෙරළබඩ දුම්රිය මාර්ගය, පොල්ගහවෙල – රඹුක්කන ප්‍රධාන මාර්ගය සහ කැලණි නිම්න මාර්ගය වගේ ප්‍රධාන මගී මාර්ග නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව 2027 සිට කොටුව – රාගම, කොටුව – පානදුර සහ මරදාන – මාකුඹුර මාර්ගවල විදුලි දුම්රිය සේවා අදියර වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙය කොළඹ අවට ජනතාවගේ දෛනික ගමනාගමනය පහසු කිරීම සඳහා සැලසුම් කර ඇති විශාල තදාසන්න දුම්රිය ජාලයක ආරම්භයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
සම්පූර්ණ මෙට්‍රෝ ආකාරයේ දුම්රිය පද්ධතියක් එකවර ඉදි කරන්න බැරි නිසා, මේ ව්‍යාපෘතිය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරන බවත්, සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට වසර 10ත් 15ත් අතර කාලයක් ගත විය හැකි බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත්, පළමු අදියරේ ප්‍රතිඵල වැඩ ආරම්භ කර වසර 3ත් 4ත් අතර කාලයකදී දැකගන්න හැකි වනු ඇති බවත් සඳහන් කරනවා.
