කුවේටයේ ගුවන් තොටුපල ප්‍රහාරය – ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් තුවාල වෙලා

ඉරානය විසින් අද (03) කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයන් 63 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් සිටින බව කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

තානාපති කාර්යාලය පවසන්නේ, මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ගුවන්තොටුපොළේ නඩත්තු කටයුතුවල නිරතව සිට ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු කැඩී ගිය වීදුරු කැබලි වැටීම නිසා ඔවුන්ගේ හිස සහ ශරීරයේ වෙනත් ස්ථානවලට තුවාල සිදුවී තිබෙනවා.

කුවේට් ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත රත්නායක මහතා සහ කම්කරු අංශයේ ප්‍රධානී එම්. ආර්. සී. බී. ඒකනායක මහතා රෝහලට ගොස් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සුවදුක් විමසා තිබෙනවා.

ඔවුන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර, කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපතිවරයා සඳහන් කර තිබෙනවා. දින එකක් හෝ දෙකක් ඇතුළත ඔවුන් රෝහලෙන් පිටව යා හැකි බවත් ඔහු කියා තිබෙනවා.

මේ අතර, වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන කුවේට් රජය නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙස කුවේට්හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටිනවා.

විදෙස් වාර්තා අනුව, මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ තුවාලකරුවන් රෝහල් කිහිපයකට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර හිසට බරපතළ තුවාල, මොළයේ ලේ වහනය, අත්පා අහිමිවීම් සහ පිපිරීම් හේතුවෙන් සිදුවූ තුවාල සහිත පුද්ගලයන් ද සිටින බවයි.

කුවේට් ආරක්ෂක අංශ පවසන්නේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා 30ක් පමණ මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති බවත්, ගුවන්තොටුපොළ ගොඩනැගිල්ලට සැලකිය යුතු හානි සිදුවී ඇති බවත්ය.

 

Share This