ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයකට එකඟ වෙයි

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවති ගැටුම් නතර කිරීම සඳහා දෙරට සටන් විරාමයකට එකඟ වී තිබෙන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබෙනවා.
මෙය ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා පුළුල් එකඟතාවක් ඇති කරගැනීමේ උත්සාහයට වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකාව සමඟ ඕනෑම එකඟතාවක් ඇති කරගැනීමට නම් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් නතර විය යුතු බවයි.
මේ අතර, ඉරානය විසින් කුවේට් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරයෙන් කුවේට් ගුවන්තොටුපොළට හානි සිදුවී පුද්ගලයන් රැසක් තුවාල ලබා තිබෙනවා.
එම අවස්ථාවේදීම ඇමරිකානු හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ හමුදා මෙහෙයුම් ද සිදුකරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව, මෙම සටන් විරාමය ක්‍රියාත්මක වීමට නම් ඉරානයට සහාය දක්වන හෙස්බොල්ලා සංවිධානය සම්පූර්ණයෙන්ම ප්‍රහාර නතර කළ යුතු අතර, ඔවුන්ගේ සාමාජිකයන් දකුණු ලිටානි කලාපයෙන් ඉවත් විය යුතු වෙනවා.
පසුගිය මාසයේත් දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ වී තිබුණත්, ප්‍රායෝගිකව ගැටුම් නතර වී තිබුණේ නැහැ.
ඊශ්‍රායලය මාර්තු මාසයේදී ලෙබනනයට හමුදා මෙහෙයුමක් ආරම්භ කළේ ඉරානයට සහාය දක්වන හෙස්බොල්ලා සංවිධානයට එරෙහිවයි.
කුවේට් ප්‍රහාරය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සිදුවීම්, ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර දැනට පවතින අස්ථාවර සටන් විරාමයට තවත් අභියෝගයක් වී තිබෙනවා.
මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිලත් සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වී නොමැති බව වාර්තා වනවා.
