ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට තම බලය අයුතු ලෙස භාවිතා කරමින් බලපෑම් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර, රත්නපුර කොට්ඨාස විමර්ශන ඒකකය විසින් ඇහැලියගොඩ ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
පොලිසිය කියන්නේ, ඇහැලියගොඩ ප්රදේශයේ මැණික් පතල් හිමියෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මැණික් ගල් සොරකමක් ගැන විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි.
එම විමර්ශන අතරතුර සැකකරුවෙකුට පොලිස් ස්ථානාධිපතිවරයා තම තනතුරේ බලය භාවිතා කරමින් අයුතු ලෙස බලපෑම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
