ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ බීජිං වෙත – චීන වෙළෙඳපොළ තවදුරටත් විවෘත කරන ලෙස ඉල්ලීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ දෙදින නිල සංචාරයක් සඳහා බීජිං නගරයට පැමිණ තිබෙනවා. ඔහු සමඟ Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාන් සහ බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් ද මෙම සංචාරයට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීජිංහිදී ට්‍රම්ප් ඇතුළු පිරිසට චීන බලධාරීන් විසින් උත්කර්ෂවත් පිළිගැනීමක් ලබාදී තිබෙන අතර, චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී අමෙරිකානු ව්‍යාපාර සඳහා චීන වෙළෙඳපොළ “තවදුරටත් විවෘත කරන ලෙස” ට්‍රම්ප් ඉල්ලීමට නියමිත බව සඳහන්.

වසර දහයකට ආසන්න කාලයකින් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ කරන පළමු නිල සංචාරය මෙය ලෙස සැලකෙනවා.

වාර්තා අනුව, ට්‍රම්ප් මෙම සංචාරය හරහා ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලබාගැනීමට උත්සාහ කරන අතර, චීනය සහ අමෙරිකාව අතර මේ වනවිට පවතින අස්ථාවර වෙළෙඳ සන්ධියත් රැකගැනීමට අවධානය යොමුකර තිබෙනවා.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉරානය සමඟ ඇතිවූ යුදමය ආතතිය හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයට බලපෑම් එල්ලවී ඇති පසුබිමක, මෙම චීන සංචාරය ඔහුගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමේ උත්සාහයක් බවයි.

Share This