මිහිතලයට ආදරය කරන්න අපට ඉගැන්වූ ඒ අසිරිමත් මිනිසා – වයස අවුරුදු 100ට පා තබයි

පෘථිවිය ගැන කතා කරනකොට අපේ හිතට මුලින්ම එන හඬක් තියෙනවා… ඒ සන්සුන්, ගැඹුරු, ආදරණීය හඬ. ඒ තමයි ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ. අද ඔහු තම ජීවිතයේ සියවැනි වසර සම්පූර්ණ කරනවා.

අවුරුදු 100ක් කියන්නේ සාමාන්‍ය කාලයක් නෙමෙයි. මිනිසා හඳට යන්නත් කලින්, ලෝකේ වර්ණ රූපවාහිනියක්වත් නැති කාලෙක සිට ඔහු කැමරාවක් අරගෙන සොබාදහමේ පුදුමාකාර ලෝකය අපි ඉස්සරහට ගෙනාවා.

ඔහු සොබාදහම පෙන්නුවේ පොත් පිටුවක පින්තූරයක් වගේ නෙමෙයි… මේ ලෝකය පණ තියෙන, හුස්ම ගන්න, අපූරු ජීවිතයකින් පිරුණු තැනක් කියලා අපිට දැනෙන්න සැලැස්සුවා. ඔහුගේ කතාවත් එක්ක අපි සාගරයට ආදරේ කළා… වනාන්තරවල රහස් හොයන්න ගියා… කුඩා කෘමියෙක්ගේ ඉඳන් දැවැන්ත තල්මසෙක් දක්වා හැම ජීවියෙක්ම මේ ලෝකයට කොච්චර වැදගත්ද කියලා තේරුම් ගත්තා.

හැබැයි ඔහු මේ සියවසක ගමන ඇතුළේ දැක්කේ ලස්සන දේවල් විතරක් නෙමෙයි. වනාන්තර නැතිවෙන හැටි, සතුන් වඳවෙන හැටි, අයිස් කඳු දියවෙන හැටි ඔහු තමන්ගේ ඇස් ඉස්සරහම දැක්කා. ඒ අනතුර ගැන ලෝකයටම නැවත නැවතත් අනතුරු ඇඟෙව්වා.

අද ඔහුගේ වාර්තා චිත්‍රපට බලද්දි ඒවා ලස්සන දර්ශන විතරක් නෙමෙයි… අපිට ටිකෙන් ටික අහිමි වෙමින් යන ලෝකයක මතක සටහන් වගේ දැනෙනවා.

ඒත් වයස අවුරුදු 100ක් වෙලත් ඔහු තවමත් බලාපොරොත්තුව අතහැරලා නැහැ. “අපිට මේ ලෝකය බේරගන්න පුළුවන්” කියලා ඔහු තවමත් විශ්වාස කරනවා. ඒකම තමයි අපිටත් තියෙන ලොකුම බලාපොරොත්තුව.

ඩේවිඩ් ඇටන්බරෝ අපිට කියලා දුන්න ලොකුම පාඩම තමයි — අපි සොබාදහමට වඩා ඉහළ ජීවින් නෙමෙයි… අපිත් මේ සොබාදහමේම කොටසක් කියන එක.

ඒ නිසා අද ඔහුට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි ගසක් සිටුවීම… කුරුල්ලෙකුගේ හඬකට සවන් දීම… නැත්නම් මේ ලෝකය රැකගන්න පුංචි හරි උත්සාහයක් ගැනීම.

මිහිතලයට ආදරය කරන්න මුළු ලෝකයටම ඉගැන්වූ ඒ අසිරිමත් මිනිසාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

Share This