තවදුරටත් කියවන්න…

චීනය, ඉරානය සහ පකිස්ථානය අතර ප්‍රධාන බලශක්ති ව්‍යාපෘතියක් ලෙස සැලකෙන ඉරාන – පකිස්ථාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතිය, එහෙමත් නැත්නම් “සාම නල මාර්ගය” යළි වේගවත් කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වාර්තා අනුව, මැයි මාසය අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් චීනයේ සහාය ඇතිව ඉහළ මට්ටමේ සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම නල මාර්ගය හරහා ඉරානයේ තෙල් සහ ස්වාභාවික වායු පකිස්ථානය හරහා සෘජුවම චීනය වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙන අතර, විශේෂයෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය මඟ හැර විකල්ප බලශක්ති මාර්ගයක් ලෙස එය සැලකෙනවා.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මැදපෙරදිග උණුසුම් ආරක්ෂක තත්ත්වය හමුවේ හොර්මූස් සමුද්‍ර සන්ධිය මත ඇති අවදානම අවම කර ගැනීමට චීනය උත්සාහ කරන බවයි.

මෙම ව්‍යාපෘතිය චීනයේ දැවැන්ත China-Pakistan Economic Corridor (CPEC) ව්‍යාපෘතියේ කොටසක් ලෙසත් සැලකෙන අතර, එය සම්පූර්ණ වුවහොත් දිනකට බැරල් මිලියනයක් දක්වා තෙල් චීනයට අපනයනය කිරීමේ හැකියාව පවතින බවද සඳහන් වෙනවා.

ඒ අනුව, මෙම නල මාර්ගය ආසියානු කලාපයේ බලශක්ති සහ භූ දේශපාලන බල තුලනයටද විශාල බලපෑමක් ඇති කළ හැකි ව්‍යාපෘතියක් ලෙස දැක්වෙනවා.

 

Share This