තද වැසි සමග ප්‍රධාන ජලාශ 16ක් වාන් දමමින්

දිවයින පුරා පවතින තද වැසි තත්ත්වයත් එක්ක ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ වගේම අද (13) පෙරවරු 6.00 වනවිට මධ්‍ය පරිමාණ ජලාශ 17ක්ද වාන් දමමින් තිබූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළා.
වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුරයේ රාජාංගන ජලාශය, බදුල්ලේ අඹෙවෙල ජලාශය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වෙනවා.
විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබෙන අතර, තත්පරයකට ඝන අඩි 14,000කට වැඩි ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
ඒ නිසා පහත්බිම් ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත්ව සිටින ලෙසත්, ගංවතුර තත්ත්වයන් ගැන අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් දැනුම් දෙනවා.
