කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ ලොක් එක අරින්න නිෂ්පාදිත සමාගමට දෙන්න යයි

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්වුණා.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ වැඩිදුර වාර්තාවක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක් අධිකරණයට භාරදුන් බවයි.

එසේම මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් ලබාගැනීමට අවසර ඉල්ලා තිබෙනවා.

මේ අතර විමර්ශනයේදී විශේෂ අවධානයක් යොමු වූයේ කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන්. පොලීසිය අධිකරණයට පෙන්වා දුන්නේ එම දුරකථනය Face Lock තාක්ෂණයෙන් ආරක්ෂා කර ඇති නිසා එය විවෘත කිරීමට අපහසු වී ඇති බවයි.

ඒ හේතුවෙන් එම ජංගම දුරකථනය නිෂ්පාදන සමාගමට හෝ අදාළ තාක්ෂණික ආයතනයකට යොමු කර දුරකථනය විවෘත කිරීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසද අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ සිද්ධි ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය සහ තවත් ඖෂධ කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

මහෙස්ත්‍රාත්වරයා විමසා තිබුණේ සිද්ධි ස්ථානයේ තිබූ හඳුනා නොගත් බෙහෙත් සහ ඖෂධ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද යන්නයි.

ඊට පිළිතුරු ලෙස පොලීසිය සඳහන් කළේ එම ඖෂධ මුලින්ම පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍ය මණ්ඩලයට භාරදුන් බවත්, ඉදිරියේදී ඒවාද රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවත්ය.

පොලීසිය කළ සියලු ඉල්ලීම් සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා.

නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 14 වනදා දක්වා කල් තබා තිබේ.

Share This