“උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් නව අධ්‍යාපන අවස්ථා සිසුන්ට හඳුන්වාදීම අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
උසස් අධ්‍යාපනය හරහා ලෝකය පුළුල්ව දකින්න පුළුවන්, වෘත්තීය හැකියාවන් සහිත ශිෂ්‍ය පරපුරක් ගොඩනැගීම තම රජයේ අරමුණ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද (12) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට” වැඩසටහනේදීයි. එහිදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථීන් සඳහා නව වෙබ් ද්වාරයක්ද නිල වශයෙන් විවෘත කෙරුණා.
මෙම වෙබ් ද්වාරය හරහා මහපොළ ශිෂ්‍යත්වයෙන් ඉගෙනගෙන අද ලොව පුරා විවිධ වෘත්තීන්හි නිරත වන ආදි විද්‍යාර්ථීන් සහ දැනට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් එකම ජාලයකට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ හරහා රැකියා අවස්ථා, වෘත්තීය මාර්ගෝපදේශනය, ශිෂ්‍යත්ව සහ සිසුන්ට අවශ්‍ය සහය ලබාදීම වගේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ, මහපොළ ශිෂ්‍යත්වය ලබාගෙන අද ලෝකයේ විවිධ ක්ෂේත්රවල සාර්ථකව කටයුතු කරන විශාල පිරිසක් සිටින බවයි. ඒ අයගේ අත්දැකීම් සහ සහයෝගයෙන් තවත් පරපුරක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ බවත් ඇය සඳහන් කළා.
එසේම රජය බලයට පැමිණීමෙන් පසු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ කටයුතු කාර්යක්ෂම කරමින් ශිෂ්‍යයන්ට දීමනා නිසි වෙලාවට ලබාදීමට පියවර ගත් බවත්, මහපොළ දීමනාව රුපියල් 10,000 දක්වා වැඩිකිරීමට හැකි වූ බවත් ඇය පැවසුවා.
“ඔබට ලැබුණු මේ ශිෂ්‍යත්වය ඔබට පමණක් ලැබුණු දෙයක් කියලා හිතන්න එපා. මේ හරහා රටට සේවයක් කරන්න පුළුවන් පරපුරක් බිහිකරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ,” යැයිද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන ඇතුළු අමාත්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
