දෙනියාය බියට පත්කළ වෛරසය අපිරිසිදු ජල මූලාශ්‍ර මගින් පැමිණි එකක්?

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක පැතිර යන වයිරස් උණ රෝගයට හේතුව, ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හෝ ආහාර මගින් වයිරසය පැතිරීම විය හැකි බව කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයකින්ම උණ රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වීමත් සමඟ, රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ගැන මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව දී සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු බවත් මෙහිදී අවධාරණය කර තිබුණා.

රෝග ව්‍යාප්තිය අඩු කරන්න පාසල් දරුවන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ වැඩිදියුණු කිරීම සහ උණ ලක්ෂණ තියෙන දරුවන් ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැනත් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දෙනියාය කලාපයේ පාසල්වල පන්ති කාමර, වැසිකිළි, ජල ටැංකි, ජල කරාම සහ පාසල් පරිසරය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, දෙනියාය ප්‍රදේශයේ පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලත් මේ රෝග තත්ත්වය ගැන විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කර තිබුණා.

Share This