කථිකාචාර්යවරියගේ ලිංගික හිරිහැර පෙත්සමින් පසු පේරේ මහාචාර්යවරයෙකුට අධ්‍යාපන ආයතනවල තනතුරු තහනම්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය ලිංගික හිරිහැර හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ තීන්දුව ලබාදී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක සහ ශල්‍ය වෛද්‍යවරියක වන ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්. උදාරි අබේසිංහ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි.

නඩු තීන්දුව අනුව, ඇය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරගෙන යන කාලයේදී මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නගේ අධීක්ෂණය යටතේ කටයුතු කර තිබුණා. 2017 ජූලි සිට 2018 අප්‍රේල් දක්වා කාලය තුළ තමන් ලිංගික සහ මානසික හිරිහැරවලට ලක්වූ බව සඳහන් කරමින් ඇගේ මව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව විශ්වවිද්‍යාලය පරීක්ෂණ කමිටුවක් පත් කරලා මේ චෝදනා විභාග කර තිබුණා. එහිදී මහාචාර්යවරයාට එරෙහි ඇතැම් චෝදනා සනාථ වූ බවත් සඳහන් වෙනවා. නමුත් එම කමිටු වාර්තාව පසුව විශ්වවිද්‍යාල පාලක කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඊට පස්සේ පෙත්සම්කාරිය මානව හිමිකම් කොමිෂන් සභාවටත්, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගොස් තිබෙනවා.

නඩුවේදී වගඋත්තරකරුවන් කියා තිබුණේ ඇය කල් පසු වෙලා අධිකරණයට පැමිණ ඇති නිසා පෙත්සම පිළිගත නොහැකි බවයි. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, එවැනි තත්ත්වයක වුණත් සාධාරණ නියෝග ලබාදීමට අධිකරණයට බලය තිබෙන බවයි.

විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති රැකියාවක ආරක්ෂිත පරිසරයක කටයුතු කිරීමේ අයිතිය තිබෙන බවයි. ඒ අයිතිය භුක්ති විඳින අතර ලිංගික හිරිහැරවලට ලක් නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා.

ඒ අනුව, මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නට ඉදිරියේදී කිසිදු විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක වැටුප් සහිත හෝ ගෞරවනීය තනතුරක් භාර නොගන්නා ලෙසත්, එවැනි පත්වීම් ලබා නොදෙන ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අදාළ ආයතන වෙතත් අධිකරණය උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ වගේම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික හිරිහැර සහ හිංසනය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, දැනුවත් කිරීම සහ ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලාත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා.

මේ අතර, තීන්දුව ගැන ෆේස්බුක් සටහනක් තබමින් පෙත්සම්කාරිය සඳහන් කර තිබුණේ, “මේ තීන්දුව එක පුද්ගලයෙකුගේ නඩුවකට වඩා විශාල දෙයක්. අපේ විශ්වවිද්‍යාල තුළ වඩා ආරක්ෂිත සහ වගකීම් සහිත පරිසරයක් නිර්මාණය කරන්න මේක උපකාරී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

Share This