වියට්නාම් ජනපතිගේ ආගමනයෙන් පසු හෙට සිට කොළඹ සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් සේවා

වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. වසර 15කට පසු වියට්නාම් ජනාධිපතිවරයෙකු මෙරටට එන මෙම සුවිශේෂී සංචාරය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වැනි සංවත්සරයට සමගාමීව සිදුවන්නක්.

හෙට (08) උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන නිල පිළිගැනීමේ උත්සවයෙන් පසු නායකයන් දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි. වියට්නාමය සතු ශක්තිමත් නිෂ්පාදන සහ අපනයන අත්දැකීම් මෙරටට ලබා ගැනීමටත්, කොළඹ සහ වියට්නාමයේ හැනොයි/හෝ චි මිං නගර අතර සෘජු ගුවන් ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කිරීමටත් මෙම සංචාරයේදී පියවර ගැනේ.

මීට අමතරව, වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටත්, වෙළෙඳ සහ ආයෝජන සංසදයක ප්‍රධාන දේශනය පැවැත්වීමටත් සැලසුම් කර තිබේ. සියලු රාජ්‍යතාන්ත්‍රික කටයුතු අවසන් කිරීමෙන් පසු හෙට රාත්‍රියේම ඔහු දිවයිනෙන් පිටත්ව යනු ඇත. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමේ ගමනට මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Share This