මෝරුන් සහ මඩුවන් බේරගන්න ලෝකෙම කට්ටිය BMICH එකට එයි

Sharks International 2026’ කියන ලොකු ජාත්‍යන්තර සමුළුව අද (4) කොළඹ BMICH එකේ ආරම්භ වෙලා තියෙනවා.

මේක මෝරුන් සහ මඩු මසුන් ගැන ලෝකෙ ප්‍රධානම විද්‍යාත්මක හමුවක් කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළවෙනි වතාවට. රටවල් 80කට වැඩි ගණනකින් පර්යේෂකයෝ, පරිසර ආරක්ෂකයෝ, රාජ්‍ය නිලධාරීන් මේකට එන්න තියෙනවා.

මේකට ප්‍රධාන ආරාධිතයෙක් විදිහට ඇන්ටන් ජයකොඩි මහත්මයත් සහභාගී වෙලා, ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණයට ගන්න වැඩ සහ ලෝකෙ එකතු වෙලා මේ සතුන් බේරගන්න තියෙන වැදගත්කම ගැන කතා කරලා තියෙනවා.

ඇත්තටම බලද්දි තත්ත්වය ටිකක් බරපතලයි. ලෝකය පුරා වසරකට මෝරුන් සහ මඩු මසුන් මිලියන 100කට වැඩියෙන් මැරෙනවා. වැඩිපුර මසුන් ඇල්ලීම නිසා අපිටම ආවේණික වූ විශේෂ 105ක් අතරින් 70ක්ම දැන් වඳවීමේ අවදානමට ගිහින් තියෙනවා.

මේ සතුන් කොරල් පර වල සෞඛ්‍යයටත්, ධීවර කර්මාන්තයටත් ගොඩක් වැදගත්. ඒ නිසා CITES, CMS වගේ ජාත්‍යන්තර එකඟතාවලින් දෙන ආරක්ෂාව තවත් වැඩි කරන්නත්, පර්යේෂණ වලින් ප්‍රායෝගික ප්‍රතිඵල ගන්නත් රජය කටයුතු කරනවා කියලා කියනවා.

ඉස්සරහට ජාන තාක්ෂණය වගේ දේවල් භාවිතා කරලා නීතිවිරෝධී මසුන් ඇල්ලීම හඳුනාගන්නත්, මේ කලාපයේ නායකත්වයක් ගන්නත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා.

මේ සමුළුව සතියක් පුරා පැවැත්වෙනවා. ඒ අතරතුර තාක්ෂණික සාකච්ඡා, නව නීති, සහ සංරක්ෂණයට අදාළ වැදගත් තීරණ ගන්න නියමිතයි.

Share This